Sunday, July 9, 2023

කාලතරණය කල ආදරය - 'Your Name'

 "සමහර වෙලාවට මම ඇහැරෙන්නේ ඇස්වල කඳුලු පුරෝගෙන. ඇඬෙන්න තරම් නින්දෙදී මම දකින හීනේ මට කවදාවත් මතක් කරගන්න බැරිවුණා.ඒත් මට ඕන ම කරන දෙයක් , නැත්නම් කෙනෙක් මගහැරුණා කියන හැගීම මට ඒ හැම වෙලාවෙම දැනුණා."

Your Name (Kim No Nawa) යනු 2016 වසරේදී නිකුත් වූ Fantacy සහ Romance යන කාණ්ඩවලට අයත් වෙනස් ම විදියේ කතාවක් සහිත anime චිත්‍රපටයක්. මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ දක්ෂ ජපන් නිර්මාණකරුවෙකු වන Motoko Shinkai වන අතර Koichiro ito සහ Katsuhiro Takei එහි න්ෂ්පාදකවරු වෙයි. 


මෙම කතාව දිහැරෙන්නේ Timeline දෙකක ජීවත් වන මිට්සුහා සහ ටකී වටා ය. මිට්සුහා, ජපන් ගමක් වන ඉතොමොරිහි සරල ව ජීවත් වන උසස් පාසල් දැරියක්. ඇය ගමේ ජීවිතයට දොස් නගමින් ලබන භවයේදී හෝ ටෝකියෝ නගරයේ ජීවත් වීමට සිහින දකියි. නමුත් හදිසියේ ම දිනක් ටෝකියෝහි උසස් පාසලක ශිෂ්‍යයෙක් වූ ටකී සමග තම ආත්මය හුවමාරු වෙයි. මේ අයුරින් දිගින් දිගටම යම් කාලයක් සිදුවන අතර එක්වරම මෙම ආත්ම හුවමාරුව නතර වෙයි.  නමුත් ඒ වනවිටත් ටකීගේ සිතෙහි මිට්සුහා පිලිබඳ ආදරයක් ඇති වී අවසන්. මේ නිසා ම ඇය සොයා ගැනීමට ගමට යෑමට ඔහු තීරණය කරයි. නමුත් ඔහු එහි යනවිටත් මීට වසර තුනකට පෙර උල්කාපාතයක් වැටී ගම විනාශ වූ බවත් මිනිසුන් මියගිය බවත් දැනගන්නට ලැබෙයි. එය එසේ වුවත් ඇය කොහේ හෝ ජීවත් වන බවට ටකී විශ්වාස කරයි.අනතුරුව ඔහු ඉතොමොරි දේවස්ථානයට ගොස් කමාමිචි නම් වූ මිට්සුහාගේ ආත්මය හා සම්බන්ධ දියරයක් පානය කරයි. ඒ මගින් නැවත කාලය හරහා ගමන් කර මිට්සුහාගේ ශරීරයට සම්බන්ධ වීමට ඔහුට හැකිවෙන අතර මිට්සුහා ඇතුලු ගමේ මිනිසුන් උල්කාපාතයෙන් බේරා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙයි .නමුත් ඉන්පසු ඔවුන් දෙදෙනාට ම ඔවුන් දෙදෙනාගේ මතකය අමතක වී යයි. එසේ කල් ගත වී ඉන් අවුරුදු පහකට පසු ටකී විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා රැකියාවක් අපේක්ෂාවෙන් සිටී. නමුත් නමක් නොදන්නා කෙනෙක් තමාට මගහැරී ඇති බව නිරන්තරයෙන් ම ඔහුට හැගේ. එක්දිනක් රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීම සදහා කෝච්චියේ ගමන් කරමින් සිටින ටකී , එහා කෝච්චියේ සිටින මිට්සුහා දකී. කෙසේ හෝ කතාවට ප්‍රීතිමත් ම අවසානයක් ගෙනෙමින් දේවස්ථානයේ පඩිපෙළ අසලේදී ඔවුන් දෙදෙනා එකිනෙකාට මුණගැසෙයි.

මෙම චිත්‍රපටයේ ටෝකියෝවේ කාර්යබහුල වීදිවල සිට, සන්සුන් ගම්බද ප්‍රදේශ දක්වා සෑම රූප රාමුවක ම සජීවි බවක් පෙන්නුම් කරයි. එසේම එහි යොදාගෙන ඇති පසුබිම් හඩ සහ සංගීතය සිනමා අත්දැකීම ගැඹුරින් විදීමට හේතු වන බව කිව යුතුමය. මේ නිසා ම Your Name චිත්‍රපටය දේශිය මෙන් ම විදේශිය වශයෙන් ද Box office වාර්තා බිද  දමමින් සාර්ථකත්වයට පත්විය. 2016 වසරේදී වැඩිම ආදායම් වාර්තා ඉපයූ චිත්‍රපටය බවට පත් වූ අතර ඒ ඇමරිකන් ඩොලර් මිලියන 380 කි. ඊට අමතරව 40 වැනි ජපන් Anime Festival හිදී හොඳම  Anime චිත්‍රපටය ලෙසද යෝජනා වූ අතර කතාව සහ සජීවිකරණය සඳහා විචාරකයන්ගේ පැසසුමට ද ලක්විය.

Your Name චිත්‍රපටය සඳහා ආභාෂය ලබා ඇත්තේ Your Connection නම් වූ ජපන් චිත්‍රපටයයි. එසේම ක්‍රිස්ටෝපර් නෝලන්ගේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Intestellar මීට වැඩිවශයෙන් බලපෑම් කර ඇති බව ද සදහන් වෙයි. එපමණක් නොව මෙහි නම සඳහා Your Name තීරණය වීමට පෙර I knew it from a dream සහ You are half of this world යන නම් යෝජනා වී තිබූ බවද සදහන් වෙයි.

ප්‍රේමය යනු ආත්මයන් අහම්බකාරක ව එක් කරන කාලය හා අවකාශය අභිභවා යන බලවේගයකි. වසර ගණනාවක් ගෙවී ගිය  ද මගහැරුණු ආත්මීය ප්‍රේමය යලි හමු වූ මිට්සුහා සහ ටකීගේ කතාව එවැන්නකි.

Friday, July 7, 2023

සිහින අල්ලන විලෝ වළල්ල - Dream catcher

 

Dream catchers නැත්නම් සිහින අල්ලන විලෝ වළලු කියන්නේ පොහොසත් සංස්කෘතික උරුමයක් සහිත සිත් ඇදගන්නා සුලු අපූරු නිර්මාණයක්. සුළඟේ නැළවෙන මේ අපූරු නිර්මාණයට පාදක වන්නේ ඇමරිකානු ස්වදේශික ජනතාව අතර පැතිර තිබූ අපුරු පුරාවෘත්තයක්.

ඇමරිකාවේ සිටි මුල් වැසියන් කණ්ඩායමක් වූ ඔජිබ්වේ ජනයා ස්වභාවික ප්‍රඥාව උතුම් දෙයක් ලෙස සැලකූ අතර ස්වභාවිකත්වය තමන්ට මග පෙන්වන ගුරුවරයා බවත් විශ්වාස කලහ. මෙම ඔජිබ්වේ ජනයා අතර ආධ්‍යාත්මික නායකයෙක් සිටි අතර ඔහු දිනක් කඳු මුදුනක සිටින විට ඉක්තෝමි නම් වූ තවත් ප්‍රඥාවන්තයකු මුණගැසුණි. ඉක්තෝමි පෙනීසිටියේ පාද අටක් සහිත මකුළුවෙකුගේ වේශයෙන්. ඇතැම් පුරාවෘත්තවල දැක්වෙන්නේ ඉක්තෝමි කාන්තාවක් බවයි. කෙසේවෙතත් එහිදී ඔවුන් දෙදෙනා අතර ලෝකයේ හොඳ සහ නරක පිලිබඳ ගැඹුරු සංවාදයක් ගොඩනැගෙනෙයි. මෙම සංවාදයේදී ලෝකය චක්‍රයක් බවත් උපතේ සිට මරණය දක්වා සියලු දෙනාගේ ම ජීවිත චක්‍රාකාර ව ගත කරන බවත් ඉක්තෝමි පැවසූ බව සඳහන් වෙයි.

 ඒ සංවාදය අතරතුරේදී ඉක්තෝමි විසින් ආධ්‍යාත්මික නායකයා සතුව තිබූ පිහාටු, අශ්ව කෙඳි, පබලු සහ විලෝ වළල්ලක් ආදී ඔවුන්ගේ පූජා ද්‍රව්‍යවලින් දැලක් වියන්නට පටන් ගෙන තිබේ. බොහෝ දීර්ඝ ව සහ ගැඹුරු ව සිදුවුණ මෙම සංවාදය අවසානයේදී ඉතා අලංකාර ව විලෝ වළල්ලේ මෝස්තරයක් නිර්මාණය වූ බවත් එය ඔජිබ්වේ නායකයා වෙත ප්‍රදානය කල බවත් සදහන් වෙයි.එතැන් පටන් ස්වදේශික ඇමරිකානුවන් අතර සුබ සිහින ඇල්ලීමේ සහ නරක සිහින විනාශ කිරීමේ සම්ප්‍රදාය ආරම්භ වෙයි. 

Dream catcher එකක මැද සිදුරක් පිහිටන අතර එයින් සූර්යයාගේ ශක්තිය සංකේතවත් කරයි. එසේම මෙම සිදුර තුළින් රාත්‍රී වාතයේ ඇති සුබ සිහින ඇදී එන බවත් ඉන් සුවපත් නින්දක් ලබා දෙන බවත්, සුව නින්දට බාධා කරන නරක සිහින මෙහි දැල්වල පැටලී අතරමං වී උදෑසන හිරු එළිය වැටෙන විට ඉන් විනාශ වන බවත් ඔජිබ්වේ ජනයා විශ්වාස කළහ. විශේෂයෙන් ම සිහින අල්ලන විලෝ වළලු මඟින් ශක්තිය හා සමගිය සංකේතවත් වූ නිසා ඔවුන් මේවා භාවිත කර ඇත්තේ අතිමහත් ගෞරවාදරයකින් යුතුවයි. 

මුල් කාලයේදී Dream catchers නිර්මාණය කර ඇත්තේ රතු විලෝ අතු කැබලි සහ ශාක කෙදි භාවිත කරමින්. ඊට අමතරව කුරුලු පිහාටු, බෙලි කටු, ඊතල හිස් සහ වටිනාකමෙන් අඩු මැණික් ගල් පවා භාවිත කර තිබූ බව සඳහන් වෙයි. මැණික් ගල් භාවිත කිරීමේදී සෑම විටම එක් නිර්මාණයක් සඳහා එක් මැණික් ගලක් යොදාගෙන ඇත්තේ මෙම ජීවන ජාලයේ නිර්මාතෘවරයා සිහිවීම පිණිස ය. එසේම සාම්ප්‍රදායික Dream catchersහි වටේ පිහිටි වළල්ල දැලට සම්බන්ධ වන ස්ථාන තිබී ඇත්තේ අටක් පමණි. ඊට හේතුව වී ඇත්තේ මෙම නිර්මාණය ලොවට දුන් ප්‍රඥාවන්ත මකුළුවාගේ පාද අට සිහිවීම පිණිස ය.

බොහෝ කලකට පෙර ඇමරිකාව ආක්‍රමණය කල සමයේදී ස්වදේශික ජනතාවගේ නිදහස අහිමි වී යයි. එකල ඔවුන්ගේ ආගමික ඇදහිලි හා විශ්වාසයන්ට පවා බාධා පැමිණෙන අතර ඇතැම් ආගමික සංකේත නීති විරෝධී දේවල් ලෙස තහනමට ලක් වෙයි . ඒ අනුව මෙම අපූරු සිහින අල්ලන විලෝ වළලු ද තහනමට ලක්වෙයි. නමුත් කල් ගත වෙත්ම 1978 දී ඇමරිකානු- ඉන්දියානු ආගමික නිදහස් පනත තුලින් මෙම තහනම ඉවත් කල අතර Dream catchers සම්ප්‍රදාය ලොව පුරා ප්‍රචලිත වීම ඇරඹෙයි.

මේ අයුරින් ඇරඹී ප්‍රචලිත වූ සිහින අල්ලන  විලෝ වළලු සම්ප්‍රදාය පරම්පරා ගණනාවක් මේ අයුරින් නොනැසී පවතී. අද වනවිට නිවාස අලංකාර කරන සැරසිල්ලක් ලෙසත්, වාහනවල එල්ලා තබන විසිතුරු අත්කම් නිර්මාණයක් ලෙසත්, කනේ පළදින කරාබු ලෙසත්, සහ මෙම සංකේතය ශරීරය අලංකාර කරන ටැටූ මෝස්තරයක් ලෙසත්, බිත්ති සිතුවම් මෝස්තරයක් ලෙසත් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වී තිබේ.

Wednesday, June 28, 2023

තරු පිරි අහසක සිහින දකින්නා - Vincent Van Gogh

"මම මගේ හදවත සහ ආත්මය මගේ කාර්යයට යොමු කලෙමි. එම ක්‍රියාවලිය නිසා මට මගේ මනස නැති වී ඇත " 

වින්සන්ට් වැන්ගෝ කියන්නේ  ලොවපුරා ගෞරවාදරයට පත් වූ චිත්‍ර ශිල්පියෙක්. ඔහු 1853 මාර්තු 30 දකුණු නෙදර්ලන්තයේ උපත ලබා, පසුකාලීන ව ප්‍රංශයට සංක්‍රමණය වූ කලාකරුවෙක්. අද වනවිට ඔහු ලෝකයේ ම ජනාදරයට පත් වුවද ජීවත් ව සිටියදී නම් එකදු ඇගයීමක් හෝ ලබන්නට ඔහුට හැකිවුනේ නැහැ. ඔහු විකුණා තිබුනේ ද එක ම එක සිතුවමක් පමණයි. 

වැන්ගෝ චිත්‍ර ඇදීම ආරම්භ කරන්නේ වයස අවුරුදු 27 දී. ඒ සඳහා ඔහුට උදවු කරන්නේ ඔහුගේ සහදරයා තියෝ. නමුත් ඊට ප්‍රථමයෙන් ඔහු ගුරුවරයෙකු ලෙසත්, චිත්‍ර අලෙවිකරන්නෙකු ලෙසත් සේවය කල බව සදහන් වෙයි. අනතුරුව ඔහු ස්වයං අධ්‍යයනය තුළින් චිත්‍ර ඇඳීමේ නිරත වෙයි. ඇතැමුන්ගේ අදහස නම් ඔහුගේ චිත්‍රවලට ජපන් ආභාෂය බලපා ඇති බවයි. කෙසේවුවද ඔහු වැඩිවශයෙන් ම භාවිත කරන්නේ අඳුරු පැහැති වර්ණ යි. එසේම ඔහුගේ සුවිශේෂිතවය වන්නේ ඔහු තුල වූ භාවයන් , අත්දැකීම් ඔහුට ම අනන්‍ය ලෙස විවිධ හැඩතල මගින් කැන්වසයක් මත සිතුවම් කර තිබීමයි. 

Starry Night වැන්ගෝගේ සිතුවම් අතුරින් අතිශය ජනප්‍රිය සහ ඉතිහාසයේ වඩාත් ම බලපෑම් කල සිතුවමක් ලෙස දැක්විය හැකි ය. නමුත් මෙම සිතුවම පිටුපස තිබෙන කතාව නම් එතරම් විචිත්‍රවත් නොවෙයි. වැන්ගෝ කියන්නේ විෂාදය වැනි මානසික රෝගවලට ගොදුරු වී පීඩා විඳි පුද්ගලයෙක්. ඔහු සම්බන්ධයෙන් සඳහන් වන ප්‍රසිද්ධ ම කතාව නම්, වැන්ගෝගේ සමීපතම මිතුරෙකු වූ ගොගීන් සමඟ ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් රේසරයකින් තමන්ගේ ම වම් කන කපාගත් බවයි. අනතුරුව මානසික ව්‍යාකූලත්වය ඉහල යාම හේතුවෙන් බොහෝ කාලයක් මානසික රෝගවලට ප්‍රතිකාර කරන ආරෝග්‍යශාලාවක සිටීමට ඔහුට සිදුවෙයි. පෙර සඳහන් කල Starry Night සිතුවම ඇතුලු බොහෝ ජනාදරයට පත් සිතුවම් ඇඳ ඇත්තේ එහි ප්‍රතිකාර ලබන අතරතුරදී ය. ආරෝග්‍යශාලාවේ කවුළුවෙන් පිටත බලා හිඳිමින් ඔහුඅත්විඳි දර්ශනය පදනම් කරගෙන මෙම සිතුවම් නිර්මාණය වූ බව සඳහන් වෙයි. වරක් වැන්ගෝ පැවසුවේ, " සිතුවම් කිරීමට මම සිහින දකිමි. පසුව මගේ සිහිනය සිතුවම් කිරීමට මට හැකිවිය." යනුවෙනි.

විශේෂයෙන් ම ඔහුගේ සිතුවම්වල වර්ණ භාවිතයේ සිට පින්සල් පහරවල් ඇඳීම දක්වා ඔහුට ම අනන්‍ය අපූරුවත්වයක් විය.The postman, Peasant working in the fields, Pair of old foot, bedroom chair ආදී සිතූවම් තුළින් සරල දේ තුල ඔහු දුටු සුන්දරත්වය අපූරුවට නිරූපණය කලේය. මේ අයුරින් බාහිර මෙන් ම තම අභ්‍යන්තර බාධක ද මැඩලමින් වසර 10 කාලයක් තුල වැන්ගෝ විසින් සිතුවම් 2100  නිමකරනු ලබයි. ඉන් 860 තෙල් සායම් පණ පෙවූ සිතුවම් ය. ඒ අතුරින් Starry Night,  Cypress,  The red Vineyard සහ Reaper අතිවිශිෂ්ට සිතුවම් ලෙස ලොව ම පිළිගනී. එසේම ලෝකයේ මිල අධික ම සිතුවම් 30 අතුරින් ඉන් 4 ක්ම වින්සන්ට් වැන්ගෝගේ වීම විශේෂත්වයකි.

නමුත් අතිශයෙන් ම අනුවේදනීය ලෙස ඔහු 1890 දී තමන් විසින් ම වෙඩි තබා ගෙන සියදිවි තොර කරගනු ලබයි.

1973දී ඇම්ස්ඩර්ඩෑම්හි පළමු වැන්ගෝ කෞතුකාගාරය විවෘත කරන අතර වර්තමානය වනවිට යුරෝපය ඇතුලු රටවල් කිහිපයකම වැන්ගෝ කෞතුකාගාර දක්නට ලැබෙයි. ඒ අනුව තවත් සියවස් ගණනාවක් යනතුරු ම ඔහුගේ සිතුවම් මිනිසුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.

Wednesday, June 7, 2023

අයිරිෂ් සංධ්වනිය - Westlife


90 දශකයේ කණ්ඩායම් සංගීතයට ආදරය කෙනෙක් නම් නිසැකව ම Westlife සංගීත කණ්ඩායමේ ගීත අසා තිබෙනවා විය යුතුය. My love,No promises, Nothing's gonna change, I lay my love, Beautiful in white, Take me for your heart, That's why you go away ආදී ගීත වැඩිවශයෙන් ම ජනප්‍රිය වූ ගීත අතුරින් කිහිපයකි. 

Westlife සංගීත කණ්ඩායමේ ආරම්භය සිදුවන්නේ අයර්ලන්තයේ ස්ලිගෝ නගරය කේන්ද්‍ර කරගෙන. එය සාම්ප්‍රදායික සංගීතයෙන් පෝෂණය වූ කුඩා නගරයක්. Westlife කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් පස්දෙනාගෙන් තිදෙනෙකු ම උපන්නේ මේ නගරයේයි. ඒ කියන් රීගන්, ෂේන් ෆිලන් සහ මාක් ෆීහිලි. පාසලේ මිතුරන් වූ ඔවුන් තම උසස් පාසලේ සංගීත වැඩසටහනක් සඳහා තම ඉදිරිපත් කිරීම කරන අතරතුරේදී තමයි සංගීත කණ්ඩායමක් පිහිටුවා ගැනීම පිළිබද අදහසක් පහළ වෙන්නේ. ඔවුන් තවත් තිදෙනෙකු සම්බන්ධ කරගනිමින් " 6 as 1" නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගන්නා අතර පසුව එහි නම I.O.YOU  ලෙස වෙනස් කරයි. 1997දී I.O.YOU. ඔවුන් තම පළමු ගීතය "  Together Girl Forever " ගීතය නිකුත් කල නමුත් අපේක්ෂා කල පරිදි  මිනිසුන් අතරට ගියේ නැහැ. නමුත් ෂේන් ෆිලන්ගේ මව තම පුතු ඇතුලු මේ තරුණයන්ගේ අනාගතය වෙනුවෙන් ලුවී වෝල්ෂ් සම්බන්ධ කරගැනීමට තීරණය කරයි. ලුවී වෝල්ෂ් යනු ඒ වනවිට යුරෝපයේ මෙන් ම එයින් එපිටටත් තම ජනප්‍රියත්වය විහිද වූ Boyzone සංගීත කණ්ඩායමේ කළමණාකරු ය.  ඔහු Boyzone කණ්ඩායමේ සාමාජිකයෙකු වන රෝනන් කීටින් සමග එක් ව නව කණ්ඩායම කලමණාකරණය කිරීමට එකඟත්වය පල කරයි.අනතුරුව I.O.YOU. කණ්ඩායමේ පසුව එක් වූ ග්‍රැහැම්, මයිකල් සහ ඩෙරෙක්ගෙන් ඉවත් ව යන ලෙස ඉල්ලා සිටින අතර නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා කුසලතා පරීක්ෂණ ආරම්භ කරයි. එහිදී වෝල්ෂ් විසින් බ්‍රයන් මැක්ෆේඩන් සහ නිකී බර්න් කණ්ඩායමට තෝරාගනු ලබන අතර  Westlife සංගීත කණ්ඩායම නිල වශයෙන් පිහිටුවනු ලබයි. විශේෂයෙන් ම ආරම්භයේ පටන් ම Boyzone සංගීත කණ්ඩායමේ නිහතමානී දායකත්වය ඔවුන්ට ලැබුණු බව නම් සඳහන් කල යුතුම ය. 

Westlife තම පළමු ගීතය  Swear it again" 1999 අප්‍රේල් මාසයේදී නිකුත් කරන අතර එය අයර්ලන්තයේ සහ එක්සත් රාජධානියේ ජනාදරයට පත් වෙයි. මෙලෙස අතිමහත් රසික ආදරයක් ලැබුණු Westlife තම කුළුදුල් ගීත ඇල්බමය 1999 නොවැම්බරයේ නිකුත් කරනු ලබයි. එම ඇල්බමයේ ගීත යුරෝපයෙත්, ඕස්ට්‍රේලියාවේත්, ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලත් ජනප්‍රිය වෙයි. එහි ඇතුළත් වූ ගීත කිහිපයක් ම අයර්ලන්තයේ සහ එක්සත් රාජධානියේ සංගීත දර්ශකවල ප්‍රථම ස්ථානවලට ද පැමිණෙන අතර ඒ අතුරින් If I let you go , Flying Without Wings ප්‍රමුඛ වෙයි. ඔවුන් පළමු ඇල්බමයෙන් ලැබූ සාර්ථකත්වය සමග Coast to coast, World of our own, Turnaround යන ගීත ඇල්බමයන් පිලිවෙලින් 2000, 2001, 2002 නිකුත් කරනු ලබයි. මේ හැම ගීත ඇල්බමයක් ම අතිශය ජනාදරයට පත්වූ අතර 2002 වර්ෂයේදී ඔවුන් වැඩිම ජනප්‍රියත්වයක් ලැබූ ගීත එක්කොට Greatest Hits ඇල්බමයක් ද නිකුත් කලේ ය.


මෙකල Westilfe සංගීත කණ්ඩායම සිදු කල තවත් දෙයක් වන්නේ ඇතැම් පැරණි ගීත තම ශෛලියෙන් ගායනා කර තම රසිකයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමයි. ඒවා ලොව පුරා රසිකයන් කෙතරම් ආදරයෙන් වැළදගත්තේද කියන්නේ නම්, මුල් ගායනයටත් වඩා ඔවුන් ගැයූ අනුවාදයන් අතිශය ජනප්‍රිය විය. ඒ අතුරින් I have a dream සහ Season in the sun ගීත ඉදිරියෙන් ම තිබෙයි.


රසික ආදරය උපරිමයෙන් විඳිමින් සිටින ඔවුන්ට 2004 වර්ෂයේදී අවදානමකට මුහුණ දීමට සිදුවෙයි. ඒ බ්‍රයන් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කිරීමයි. කණ්ඩායමේ සිවුවන සංගීත ප්‍රසංග මාලාවට සති තුනකට පෙර එය නිවේදනය කල අතර ඊට හේතු ලෙස ඔහු දක්වා තිබුනේ තම පවුලේ සාමාජිකයන් සමග වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය නිසා මෙම තීරණය ගත් බවයි. කණ්ඩායමෙන් ඉවත් වූ ඔහු පසුකාලීන ව ඒකපුද්ගල ඇල්බම කිහිපයක් ම නිකුත් කල අතර ඔහු ඒක පුද්ගල ගායකයෙක් ලෙස සාර්ථකත්වයට පත්විය.
 බ්‍රයන්ගේ ඉවත් වීමෙන් පසු අනෙක් සාමාජිකයන් දැඩි කැපවීමකින් ඉදිරියට ගමන් කල අතර ඔවුන් 2004- 2010 කාල පරාසය තුල ගීත ඇල්බම 6 පමණ නිකුත් කිරීමට සමත් විය. 

මෙකල මාක්ට තම පෞද්ගලික ගැටලුවකට මුහුණ දීමට සිදුවෙයි. එනම් ඔහු සමලිංගික දිශානතියක් තියෙන පුද්ගලයෙක් වීමයි. 2005 දී ඔහු ලෝකය ඉදිරියේ ඒ පිළිබද දක්වන අතර තම ලිංගික දිශානතිය පිළිබද ස්වයං අරගලයක නිරත වූ බවත් උපදේශන සේවාවල පිහිට පැතූ බවත් දැක්වීය. එසේම එහිදී  රීගන් ඇතුළු කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් ලැබුණ සහයෝගයද ඔහු අගය කලේ ය. අද වනවිට මාක් ෆීහිලි සමරිසි නැඹුරුවක් සහිත ජනප්‍රිය කලාකරුවන් අතුරින් ඉදිරියෙන් ම සිටින්නෙකි.

Westlife විසින් තම අවසාන ඇල්බමය වන " Gravity" නිකුත් කිරීමෙන් පසු තවදුරටත් කණ්ඩායමක් ලෙස ඉදිරියට යනවාද නැත්නම් විශ්‍රාම ගන්නවාද යන්න පිලිබඳ තීරණයකට එලඹෙමින් සිටියේ ය. ඒ අනුව සමුගැනීමේ චාරිකාව ලෙස Greatest Hits tour ප්‍රසංග මාලාව සංවිධානය කරන අතර එය 2012 ජූනි 20 දින අයර්ලන්තයේ ඩබ්ලින්හි ක්‍රෝක් පාක් ක්‍රීඩාන්ගනයේදී පැවැත්වීය. එම ප්‍රසංග මාලාවේ ප්‍රවේශපත් සුළු වෙලාවකින් ම විකිණී අවසන් වූ බවත් 8000 පමණ රසික පිරිසක් ඔවුන්ට ගෞරවනීය ලෙස සමුදීමට පැමිණ සිටි බවත් සඳහන් වෙයි.


අනතුරුව ඔවුන් තම තමන්ට අනන්‍ය අයුරින් ඒකපුද්ගල ඇල්බම නිකුත් කරන අතර ඒවාද අතිශය ජනාදරයට පත්වෙයි. කෙසේවුවත් 2018 දී නැවත Westlife කණ්ඩායමේ ආගමනය සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිරෙන්නට විය.එය සැබෑවක් කරමින් 20 වැනි සංවත්සරය වෙනුවෙන් නැවත කණ්ඩායම පිහිටුවා ගන්නා බවට Westlife සංගීත කණ්ඩායමේ සාමාජිකයන් විසින් නිල වශයෙන් නිවේදනය කරනු ලැබීය. ඒ අනුව Spectrum නමින් ගීත ඇල්බමයක් නිකුත් කරන අතර ඊට සමගාමීව The twenty tour නමින් සංගීත ප්‍රසංග මාලාවක් යුරෝපය සහ ආසියාව පුරා ඔවුන් පවත්වනු ලබයි.  

Westlife සංගීත කණ්ඩායම මේ දක්වා ඔවුන්ගේ ගීත සඳහා MTV Europe, Brit Award, World Music Award ඇතුළු සම්මාන රාශියකට නිර්දේශ වී සහ පිදුම් ලබා තිබෙයි. එසේම 90 දශකයේ උන්මාදයක් වූ Westlife සංගීත කණ්ඩායම අදත් යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව ඇතුලු ලොව පුරා ප්‍රසංග පවත්වමින් රසික ආදරය නොමඳව ලබමින් සිටී.