Sunday, July 9, 2023

කාලතරණය කල ආදරය - 'Your Name'

 "සමහර වෙලාවට මම ඇහැරෙන්නේ ඇස්වල කඳුලු පුරෝගෙන. ඇඬෙන්න තරම් නින්දෙදී මම දකින හීනේ මට කවදාවත් මතක් කරගන්න බැරිවුණා.ඒත් මට ඕන ම කරන දෙයක් , නැත්නම් කෙනෙක් මගහැරුණා කියන හැගීම මට ඒ හැම වෙලාවෙම දැනුණා."

Your Name (Kim No Nawa) යනු 2016 වසරේදී නිකුත් වූ Fantacy සහ Romance යන කාණ්ඩවලට අයත් වෙනස් ම විදියේ කතාවක් සහිත anime චිත්‍රපටයක්. මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ දක්ෂ ජපන් නිර්මාණකරුවෙකු වන Motoko Shinkai වන අතර Koichiro ito සහ Katsuhiro Takei එහි න්ෂ්පාදකවරු වෙයි. 


මෙම කතාව දිහැරෙන්නේ Timeline දෙකක ජීවත් වන මිට්සුහා සහ ටකී වටා ය. මිට්සුහා, ජපන් ගමක් වන ඉතොමොරිහි සරල ව ජීවත් වන උසස් පාසල් දැරියක්. ඇය ගමේ ජීවිතයට දොස් නගමින් ලබන භවයේදී හෝ ටෝකියෝ නගරයේ ජීවත් වීමට සිහින දකියි. නමුත් හදිසියේ ම දිනක් ටෝකියෝහි උසස් පාසලක ශිෂ්‍යයෙක් වූ ටකී සමග තම ආත්මය හුවමාරු වෙයි. මේ අයුරින් දිගින් දිගටම යම් කාලයක් සිදුවන අතර එක්වරම මෙම ආත්ම හුවමාරුව නතර වෙයි.  නමුත් ඒ වනවිටත් ටකීගේ සිතෙහි මිට්සුහා පිලිබඳ ආදරයක් ඇති වී අවසන්. මේ නිසා ම ඇය සොයා ගැනීමට ගමට යෑමට ඔහු තීරණය කරයි. නමුත් ඔහු එහි යනවිටත් මීට වසර තුනකට පෙර උල්කාපාතයක් වැටී ගම විනාශ වූ බවත් මිනිසුන් මියගිය බවත් දැනගන්නට ලැබෙයි. එය එසේ වුවත් ඇය කොහේ හෝ ජීවත් වන බවට ටකී විශ්වාස කරයි.අනතුරුව ඔහු ඉතොමොරි දේවස්ථානයට ගොස් කමාමිචි නම් වූ මිට්සුහාගේ ආත්මය හා සම්බන්ධ දියරයක් පානය කරයි. ඒ මගින් නැවත කාලය හරහා ගමන් කර මිට්සුහාගේ ශරීරයට සම්බන්ධ වීමට ඔහුට හැකිවෙන අතර මිට්සුහා ඇතුලු ගමේ මිනිසුන් උල්කාපාතයෙන් බේරා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙයි .නමුත් ඉන්පසු ඔවුන් දෙදෙනාට ම ඔවුන් දෙදෙනාගේ මතකය අමතක වී යයි. එසේ කල් ගත වී ඉන් අවුරුදු පහකට පසු ටකී විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා රැකියාවක් අපේක්ෂාවෙන් සිටී. නමුත් නමක් නොදන්නා කෙනෙක් තමාට මගහැරී ඇති බව නිරන්තරයෙන් ම ඔහුට හැගේ. එක්දිනක් රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීම සදහා කෝච්චියේ ගමන් කරමින් සිටින ටකී , එහා කෝච්චියේ සිටින මිට්සුහා දකී. කෙසේ හෝ කතාවට ප්‍රීතිමත් ම අවසානයක් ගෙනෙමින් දේවස්ථානයේ පඩිපෙළ අසලේදී ඔවුන් දෙදෙනා එකිනෙකාට මුණගැසෙයි.

මෙම චිත්‍රපටයේ ටෝකියෝවේ කාර්යබහුල වීදිවල සිට, සන්සුන් ගම්බද ප්‍රදේශ දක්වා සෑම රූප රාමුවක ම සජීවි බවක් පෙන්නුම් කරයි. එසේම එහි යොදාගෙන ඇති පසුබිම් හඩ සහ සංගීතය සිනමා අත්දැකීම ගැඹුරින් විදීමට හේතු වන බව කිව යුතුමය. මේ නිසා ම Your Name චිත්‍රපටය දේශිය මෙන් ම විදේශිය වශයෙන් ද Box office වාර්තා බිද  දමමින් සාර්ථකත්වයට පත්විය. 2016 වසරේදී වැඩිම ආදායම් වාර්තා ඉපයූ චිත්‍රපටය බවට පත් වූ අතර ඒ ඇමරිකන් ඩොලර් මිලියන 380 කි. ඊට අමතරව 40 වැනි ජපන් Anime Festival හිදී හොඳම  Anime චිත්‍රපටය ලෙසද යෝජනා වූ අතර කතාව සහ සජීවිකරණය සඳහා විචාරකයන්ගේ පැසසුමට ද ලක්විය.

Your Name චිත්‍රපටය සඳහා ආභාෂය ලබා ඇත්තේ Your Connection නම් වූ ජපන් චිත්‍රපටයයි. එසේම ක්‍රිස්ටෝපර් නෝලන්ගේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Intestellar මීට වැඩිවශයෙන් බලපෑම් කර ඇති බව ද සදහන් වෙයි. එපමණක් නොව මෙහි නම සඳහා Your Name තීරණය වීමට පෙර I knew it from a dream සහ You are half of this world යන නම් යෝජනා වී තිබූ බවද සදහන් වෙයි.

ප්‍රේමය යනු ආත්මයන් අහම්බකාරක ව එක් කරන කාලය හා අවකාශය අභිභවා යන බලවේගයකි. වසර ගණනාවක් ගෙවී ගිය  ද මගහැරුණු ආත්මීය ප්‍රේමය යලි හමු වූ මිට්සුහා සහ ටකීගේ කතාව එවැන්නකි.

5 comments: